(ලංකා ඊ නිව්ස් -2018.ජන.07, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.8.00) අලුත් ඡන්ද ක්‍රමය බොහෝ දෙනාට ග්‍රීක් ලතින් වාගේ ය. මේ ගැන පැහැදිලි කිරීමක් අප පාඨකයා වෙත ගෙන ඒම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අල්ලා ගැනීමට තැත් කළද ඔහු මේ දිනවල කාර්ය බහුල වැඩි බැවින් එය නොහැකි විය. පසුව වෘත්තීය නිපුණත්වයෙන් යුත් මැතිවරණ නිරීක්ෂන සංවිධානයක් වන CMEV හෙවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධානය මංජුල ගජනායක මහතා අල්ලා ගතිමු. පහත දැක්වෙන්නේ එහි ප්‍රතිඵලයයි.

අමතර ලැයිස්තුව..! ADDITIONAL LIST..!
අමතර ලැයිස්තුව යනු අරුමැසි ලැයිස්තුවකි. එය ජන්දදායකයන්ට නම් අබිරහස් පෙට්ටගමක් බඳුය. ආසන සංවිධායකයන්ට නම් සිතූ පැතු සම්පත් දෙන පැන්ඩෝරා පෙට්ටියකි. අපේක්ෂකයන්ට නම් එය බිහිසුණු තෝමරයක් වන් අවියකි.

අමතර ලැයිස්තුව යනු නාම යෝජනා ලැයිස්තුවේ දෙවන කොටසයි. එය සකසන්නේ පක්ෂයේ මහ ලේකම්වරයාය. ඒත් සැබවින්ම එහි හිමිකරු ආසන සංවිධායකවරයාය. අවසන් මොහොතේ අවසන් තත්පරය දක්වා මේ ගුප්ත ලේඛනයේ ඇත්තේ කවර බවලතාගේ හෝ බලවතාගේ නම් දැයි ආසන සංවිධායකයා පවා නොදන්නේය. එහි තම නම නැත්තේනම් එකී සුපින්වතා වෙනත් පැත්තක අමතර ලැයිස්තුවකින් මතු වනු නියතය.

අමතර ලැයිස්තුව අරුම පුදුම වස්තුවකි. එය ඇලඩින්ගේ පහනක් ලෙසත්, සිතූ පැතූ සම්පත් දෙන අරුම පුදුම ලේඛනයක් ලෙසත් භාවිතයට හැකිය. එකී ලේඛනයේ පොල්මක්කාරයා ආසන සංවිධායකයාය. මෙරටේ දේශපාලනයේ කරලියේ තෙම්පරාදු වූ එවැන්නෝ චිට් එක දීමට රුසියෝය.

නම අමතර වුවද බැලූ බැල්මට එහි නම් ඇත්තෝ අමතර ඇත්තෝ නම් නොවෙති. මහිලාවන් වෙත පිරිනැමූ ඓතිහාසික කෝටාව නිසා තැන අහිමි වූ පුරුෂයින්ද, සංවිධායක තුමාගේ සිත්ගත් අපේක්ෂක භවතුන්ද, ආදී ලෙසින් වන පිරිස් ඇතුළත් මෙහි සිටිනා ඇත්තන්ගේ ප්‍රමාණයෙන් හරි අඩක් කාන්තාවන්ගෙන් සමන්විය යුතු යැයි නීතිය දක්වා ඇත්තේය.

ඕනෑම සභාවකට අමතර ලැයිස්තුවට නම් වැටෙන්නේ සුත්‍රයකට අනුවය. එනම් සභාවට හිමි මුළු සභික සංඛ්‍යාවෙන් 40% ක් ලෙසිනි.කොළඹ මහනගර සභාවට නියමිත සභික ගණන 110 ක් වන්නේය. කොට්ඨාශ පදනමින් ඊට වෙන්වෙන 60% පංගුව සභික ධූර 66 ක ප්‍රමාණයකි. ඒ අනුව 40% ක් යනු සභිකයෝ 44 දෙනෙක් අමතර ලැයිස්තුවට වැටෙන්නේය. අතිරේක නම් කිහිපයකුත් එක් කිරීම සාමාන්‍ය පිළිවෙත බැවින් එලෙස සමානුපාතික ලැයිස්තුවකට ලැබෙන නම් 3 ත් සමග කොළඹ අතිරේක ලැයිස්තුවේ මුළු ගණන 47 කි.

මෙහි 50% ක් කාන්තාවෝ සිටිය යුතු බව අනුමත නීතියයි. දශම සංඛ්‍යා ගලවන ලද කල අමතර ලැයිස්තුවට කොලොම්පුරයෙන් නම් දෙන කාන්තාවන් ගණන 23 දෙනෙකි.

දැන් අපි සේන්දු වන්නේ ඡන්දය දවසටයි. ඒ ඒ පක්ෂ ලබාගත් ජන්ද ගණනට සමගාමීව සභික ධූර ලබා දීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමයි. කොට්ඨාශයක් දිනුවොත් දිනුවාමය. එයා ඇතුළේය. ජන්ද ප්‍රමාණය සලකා බලා ඔබ පක්ෂය ට මෙපමණ ධූර සංඛ්‍යාවක් හිමියැයි මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්ට/ ස්වාධීන කණ්ඩායම් නායකයාට දන්වා යවන්නේය.

හබන් කුකුලන්ට ජය මගුල උදා වන්නේදැන්ය. එනම් මැතිවරණයෙන් පසුවය. මැතිවරණ කොමිෂන් සභාවේ නියමය දෙයාකාර වන්නේය.

1. පක්ෂ ලේකම්වරයාට අභිමත ලෙස ඉතිරි සභික ධූර සඳහා සභිකයන් නම් කිරීම
2. කාන්තා නියෝජනය තහවුරු කිරීම

මේ සඳහා පිහිටට එන්නේ අමතර ලැයිස්තුවයි. මෙහි වක්‍ර අධිකාරී බලය ලබන්නා ආසන සංවිධායකවරයාය. ලැයිස්තුව දුටුගැමුණු කුමාරයාගේ බත් පිඟාන වාගේය. අහුවෙච්ච, අහුවෙච්ච තැනින් කුමාරයා පාතරාසය ගිලදැම්මා සේ සභිකයන් නම් කිරීම අමතර ලැයිස්තුවේ උඩිනුත්, යටිනුත්, මැදිනුත්, හැක්කේය. ලැයිස්තුවේ අංක නැත.

මෙකී ලැයිස්තුවේ හොඳක් නැත්තේම නොවේ. කොට්ඨාශයක් සඳහා තරග කොට පරාජය වන අපේක්ෂකයෙක් යළි කැඳවා ගැනීමටත්, තරග කිරීමට මැලි , දැසි දස් , ධන ධාන්‍ය නැති ඇත්තෝ මේ හරහා කරලියට ගෙන ඒමත් කළ හැක්කේය. එහෙත් පිහියෙන් පාන් පමණක්ම කපන හාදයෝ අප අතර නැත. ඉඳහිට හෝ පෙම්වතියට බැරිනම් අල්ලපු ගෙදර එකාට පිහියෙන් අනින්නේය. අමතර ලැයිස්තුවද ඒ වාගේය.

වඳුරාට දැලිපහිය ලැබී ඇත්තේය. අත්ත හොලවා හෝ ගිනි බටයක් පිඹ හෝ රිලවා භ්‍රාන්ත කොට තැති ගන්වා අත්තෙන් බිමට දැමීම හෝ පලවා හැරීම කළ යුත්තේද ජන්දදාසලාමය.

මොනවාද මේ එල්ලන ආසන..! අපි නොදන්න OVERHANG..!!
එල්ලන ආසන (Overhang) යනු වැඩිපුර ලබා දෙන ඒවාය. මෙවර නිශ්චිත සභික සංඛ්‍යා සහිත සභා නැත. හිතන්න ගල උඩ සටනක් සේ හඳුන්වන ලඟ ලඟ තරගයක්. එවිට කරට කර සටනක් ඇති වූයේ නම් ප්‍රතිපල ඉතා ආසන්නයේ පවතින දේශපාලන පක්ෂ සඳහා සභික ධූර ලබා දීමට සිදු වේ. එනම් balance එක හෙවත් ගමේ අයවලුන් කියන පරිදි කොටේට දීමයි. එකට සභික ධූර දෙන අවස්ථාවේදී එකී සභාවට නියමිත සභික ධූර සංඛ්‍යාව ඉක්මවා යෑම සිදු විය හැකිය. එකී තීරණය ප්‍රතිපල පාදක කර ගනිමින් ගනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. තමන්ට හිමි සභික ධූර සංඛ්‍යාවට වඩා කොට්ඨාශ දිනූ පක්ෂයක් /කණ්ඩායමක් ඇති සභාවක් ගැන හිතන්න . එවිට ආසන එකක් හෝ කිහිපයක් එල්ලන්නට සිදු වේ ! මෙතැන් පටන් අප රටේ නිශ්චිත සභික සංඛ්‍යා සහිත පළාත් පාලන ආයතන නැත. හේතුව Overhang ය

අලුත් මැතිවරණයේ වැදගත් කාරණා කිහිපයක් මෙසේය…
෴ මෙවර ජන්දය දියයුත්තේ පක්ෂයේ නම සහ ලාංජනය ඉදිරියේය. මනාප නැත . අපේක්ෂක නම් නැත.

෴ ක්‍රමවේදය කවරක් වුවද සභිකයන් තේරීම 100% ක් ම සමානුපාතිකය.

෴ මෙවර නව ජන්ද ක්‍රමය තුළ වෙනදා මෙන් සභික ධූරයක් සඳහා ලබා ගත යුතු අවම ඡන්ද ප්‍රමාණයේ සීමාවක් නැත. එනම් 5% ප්‍රතිශතය නැත.

෴ කොට්ඨාශ සඳහා තරග වදින අපේක්ෂකයන් ජය ගත හොත් ඔවුන් නියත ලෙසම සභිකයන් වන්නේය. ඔවුන් කපා හැර ඒ වෙනුවට අමතර ලැයිස්තුවෙන් ආදේශ කළ නොහැක.

෴ කොට්ඨාශ සියල්ල ජයගත් විටෙකදී පවා අදාළ පක්ෂයට, අමතර ලැයිස්තුවෙන් සභික ධූර ලැබිය හැක. එය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ය.

෴ මෙවර ජන්ද ගණනය සිදුවන්නේ අදාළ ජන්ද මධ්‍යස්ථානයේදීමය. එහෙත් යෝග්‍ය පරිදි ගණන් කරන ස්ථාන තීරණය කිරීම මැතිවරණ කො. සභාව සතු කාර්යයකි.

෴ ඒ ඒ දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් ලැබූ ඡන්ද සංඛ්‍යාව, තීරක අංකයෙන් බෙදා ලැබෙන අගයට සමගාමීව සභික ධූර ලබා දේ.

෴ මෙවර වැදගත් ම සාධකය ”තීරක අංකයයි”. එනම් ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව, සභාවට නියමිත සභික ප්‍රමාණයෙන් බෙදූ විට එන අගයයි.

෴ ප්‍රකාශිත වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 20% කට අඩු මෙන්ම සභිකයන් 2ක් හෝ 1ක් හිමි පක්ෂ කාන්තා සභිකයන් නම් කිරීමට බැඳී නැත.

෴ මීට පෙර මෙරටේ පළාත් පාලන වල සිටි කාන්තා සභිකයන් සංඛ්‍යාව 86 කි. මෙවර අවම 1900 ක් ඉක්මවනු ඇත.

෴ කාන්තා නියෝජනය සඳහා 25% ඉතිහාසගත කෝටාවක් මෙවර හිමිව ඇත. මින් පසු කාන්තා සභිකයන් 25% කට අඩු සභාවක් මෙරටේ පැවතිය නොහැක.

෴ යම් සභාවක කාන්තා සභික පුරප්පාඩුවක් ඇතිවූ කලෙක – ඒ සඳහා පත් කළ යුත්තේද කන්තාවක්මය. ඊට නාමයෝජනා සඳහා ඉදිරිපත් කල ලැයිස්තු දෙකම උපයෝගී කර ගත හැකිය.

෴ බහු කොට්ඨාශයකින් එක වැඩි ඡන්දයක් හෝ ලබා ගන්නා පාර්ශවයට සභික ධුර 2 ක් හෝ 3 ම හිමිවන්නේය.

෴ දේශපාලන පක්ෂ නායකයා හට තමන්ගේ වාහනය සරසාගෙන තම රුව ද සහිතව සංචාරය කල නොහැක!

෴ පෝස්ටර් සඳහා තමන්ගේ රුව යොදා ගනිමින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන රජයේ සේවකයන්ට රැකියාව පවා අහිමි විය හැකිය

෴ ආගමේ නාමයෙන් දේශපාලන සංදර්ශන තබන ආගමික ස්ථාන වලට දෙවි පිහිටයි – බුදු සරණයි..! අපේක්ෂකයන් සඳහා අනිසි මැතිවරණ ප්‍රචාරයක් ලබා දෙන ආගමික නායකයන්ගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහිමි කළ හැකිය

෴ තරග නොකලද පළාත් පාලන ආයතනයට සභිකයෙක් ලෙස පත්වීමේ වරම පුරවැසි ඔබට ඇත. එසේ වන්නේ එක් කණ්ඩායමකින් තේරී පත් වූ සියලු සභිකයෝ හදිසියේ ඉවත් වුවහොත් හෝ කාල යාත්‍රා කළහොත්ය. ලැයිස්තුවේ සිටින ඇත්තන්ද පත් කොට අවසන් නම්, අදාළ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාගේ වගකීම වන්නේ ප්‍රදේශයේ ඡන්ද බලය හිමි සුදුසු පුරවැසියන් නම් කිරීමයි.

෴ ජයලැබූ සභිකයෙක් ඉල්ලා අස්වූ පමණින් ලැයිස්තුවට පිටතින් කිසිවෙක් පත්කළ නොහැක. අවස්ථාව උදාවන්නේ කණ්ඩායමේ ඊලඟ කෙනාටය

෴ බහුතර බලයක් නම් සභාපතිවරයා තේරීම පක්ෂ ලේකම්වරයාට භාරය. සරල බහුතරයක්නම් සභිකයන්ගේ කැමැත්ත විමසා සභාපතිවරයා පත් කිරීම පළාත් පාලන කොමසාරිස්වරයාට භාරය.

෴ බහුතරයක් යනු හරි අඩකට වඩා එකක් වැඩි වීමයි. සරල බහුතරයේදී වන්නේ එක් දේශපාලන පක්ෂයක් වැඩිපුර සභික ධූර සංඛ්‍යාවක් ලබා ගත්තද අනෙක් සියලු පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ගන්නා සභික ප්‍රමාණය ඊටසමාන වීම හෝ එකකින් හෝ වැඩි වීමයි. වෙනත් අයුරකින් පවසන්නේනම් (පනතේ පරිදිම) එකදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමස්ත සභික ධූර සංඛ්‍යාවෙන් හරි අඩකට හෙවත් 50% වඩා අඩුවෙන් ගත් විට කරලියට එන්නේ පළාත් පාලන කොමසරිස්වරයාය.

෴ දෙවරක් අයවැය පැරදුනද, තෙවැනි වර තම බලතල ප්‍රකාර සභාපතිවරයාට එය අනුමත කල හැකිය. ඒ වසර 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන සංශෝධන පනත මගින් හඳුන්වා දුන් නව නීතිය වහා අහෝසි කල බැවිනි. එබැවින් විෂමාචාර සහිත සභාපතිවරයෙක් ඉවත් කිරීමේ ක්‍රියාවලිය එතරම් සුමට නැත. ඇත්තේ ක්‍රම දෙකක් පමණි.

෴ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව සභාපතිවරයාගේ ධූරය ඉතා සවිමත්ය. ඇලෙව්වොත් ඇලෙව්වාමය. ගලවනවා බොරුය.

෴ යම් අධිකරණ ක්‍රියාමාර්ගයකින් සභිකයෙකුට තම ධූරය අහිමිවුවහොත් ඔහු හෝ ඇය කොට්ඨාශයක් සඳහා තරග වැදුනේ නම්, පුරප්පාඩුවට පත් කළ යුත්තේ ඊළඟට ඡන්ද ලබා සිටින අනෙක් පක්ෂයේ අපේක්‍ෂකයා ය.

෴ පළාත් පාලන ආයතනයේ යම් පුරප්පාඩුවක් ඇති වූ විට අතුරු මැතිවරණ පැවැත්විය නොහැක. අදාළ ක්‍රමවේදය වන්නේ යම් සභික ධූරයක් පුරප්පාඩු වූ විට නාම යෝජනා ලබා දෙන ලද ලැයිස්තු දෙකෙහි සිටින කවර හෝ හෝ අපේක්ෂකයෙක් නම් කිරීමයි. එහි සර්ව බලධාරීත්වය ඇත්තේ අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා සතුවය. සැබවින්ම එහි වක්‍ර නියමුවා ආසන සංවිධායකවරයාය.

-මංජුල ගජනායක විසිනි-
ජාතික සංවිධායක
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂක මධ්‍යස්ථානය (CMEV)